ads

Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5


“තරුමලී” පිටිසර ගමක දුප්පත් සුන්දර යුවතියක්. ඇයගේ දෙමවුපියන් ගමේ වලව්වේ සේවකයින්. වලව්වේ සෙල්ලක්කාර පුත්‍රයා විනෝද් ඉන්නේ තරුමලීට ඇහැ ගහගෙන. ඒ අතරේ අහම්බෙන් හමුවන නිර්මාල් සමඟ තරුමලී හිතවත් වෙනවා. විවිධ හැලහැප්පීම් මැදින් තරුමලී ජීවිතයට මුහුණ දෙනවා. මේ දිනවල බොහෝ දෙනෙකුගේ ආදරයට පත්වී සිටින තරුමලීගේ චරිතය නිරූපණය කරන්නේ යොවුන් රංගන ශිල්පිනී විනු උදානි සිරිවර්ධන.

තරුමලීට මොකද වෙන්නෙ?


තරුමලීට මොකද වෙන්නෙ කියල තරුමලී ටෙලි නාට්‍යය අවසානයේ ප්‍රේක්ෂකයින්ට දැනගන්න ලැබේවි. සමහර විට තරුමලීට නිර්මාල් සමඟ එක්වෙන්න ලැබෙන්නත් පුළුවනි; නොලැබෙන්නත් පුළුවනි. කොහොමහරි තරුමලී කතාව හොඳ අවසානයක් සමඟ ඉවර වේවි. තවම කතාව සම්පූර්ණයෙන්ම ලියා අවසන් නෑ.

තරුමලීට ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙයි ද?

ඇත්තෙන්ම ඔව්. තරුමලී ටෙලි නාට්‍යයට වගේම මගේ චරිතයටත් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි. ඒ වගේම ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙනුත් මට ඉහළ ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඊටත් අමතරව විදෙස් රටවල ජීවත්වන සිංහල ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේ බලලා තරුමලී ටෙලි නාට්‍යයේ මගේ රංගනය ගැන හොඳ කියල දුරකථනයෙන් කතා කරනවා. සමහර අය මට කතා කරන්නෙත් තරුමලී කියලා. සමහර පුංචි දරුවො “තරු අක්කි” කියල කතා කළ අවස්ථාත් තියෙනවා. පසුගිය දවස්වල පැවැත්වුණු පෙර පාසල් උත්සව ගණනාවකටම මට ආරාධනා ලැබුණා. ඒ පුංචි දරුවන් මේ චරිතයට ගොඩක් ආදරය කරන නිසා.

මේ චරිතය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණේ කුමක් නිසා කියල ද ඔබ හිතන්නෙ?

පුංචි දරුවන් මගේ රංගනයට ආදරය කරන්නේ කොණ්ඩා කරල් දෙකක් ගොතල චීත්ත ගවුමක් ඇඳල ගමක ගෑනු දරුවෙක් වගේ මම රඟපාන නිසා කියලයි මම හිතන්නේ. වැඩිහිටියන් මේ ටෙලි නාට්‍යයට ආදරය කරන්නේ මෙහි හොඳ කතා තේමාවක් තිබෙන නිසයි; කුතුහලය දනවන ආකාරයට මේ ටෙලි නාට්‍යය නිර්මාණය වී ඇති නිසයි.

ඔබ රූ රැජින තරගයක ජයග්‍රහණයකින් පසුව කලාවට එක්වූ කෙනෙක්. ඔබ හිතන විදියට රූප රාජිනියක් වීම රංගනයට සුදුසුකමක් ද?

නැහැ. රූප රාජනියක් වීම රංගනයට සුදුසුකමක් නෙමෙයි. නමුත් හොඳ රූපයක් තිබීම සුදුසුයි. රූපරාජිනියක් වූ පමණින්ම රංගන ශිල්පිනියක් වෙන්න බැහැ. රූප රැජනක් වෙන්න බුද්ධිය, සාමාන්‍ය දැනුම වෙනත් විවිධ හැකියාවන් ආදියත් අවශ්‍යයි. ඒ වගේම තමයි නිළියක් වෙන්න රංගන හැකියාව බුද්ධිය වැනි සුදුසුකම් ගණනාවක් අවශ්‍යයි කියා මම සිතනවා. ඒ වගේම වාසනා ගුණයත් තියෙන්න ඕන. මම රංගනයට පිවිසුණේ රූප රැජිනක් වූ පසුව මට ලැබුණු ජනප්‍රියත්වයත් සමඟයි. රංගනයට කොහොම ආවත් ඒ තුළ රැඳී ඉන්නත් එයින් ඉදිරියට යන්නත් රංගන කුසලතාවයක් තියෙන්නම ඕන. නැත්නම් පළමු රඟපෑමෙන්ම ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න සිදු වේවි.

රංගනයට එන්න ඔබ ආශාවෙන් සිටිය ද?

නැහැ කොහෙත්ම නෑ. නමුත් රූප රැජිනක් වීමට නම් මගේ හීනයක් තිබුණා. රූප රාජිනි තරගයට සහභාගි වෙන කාලෙ මට රංගනයට ආරාධනා ලැබුණා. නමුත් මම ඒවා බාරගත්තේ නෑ. ඒ මොකද රංගනයේ යෙදෙන්න මට හැකියාවක් තියෙනව ද කියල ඒ දවස්වල මම දැන නොසිටි නිසා. කෙසේ නමුත් ටික දවසක් හිතල බලල තමයි මම ක්ෂේත්‍රයට ආවේ.

මොන වගේ වැඩත් එක්ක ද ඔබ මේ දවස්වල ඉන්නෙ?


මේ දවස්වල ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස්වල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘සත් ගුණවත්ලා’ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වලටත් සහභාගි වෙනවා. ඊට අමතරව මම මේ දවස්වල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කළමනාකරණ පාඨමාලාවක් හදාරනවා.

ළඟදී ඔබ ඔබේ පළමු සිනමා රංගනයට දායක වෙනවා කියල ආරංචියි?

ඔව්. ඒ සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටය. මෙය අපේ ඉතිහාසය ඇසුරින් නිර්මාණය වන අපූරු චිත්‍රපටයක්. මෙහි මම රඟපාන්නේ සිටු දියණියකගේ චරිතයක්. එවැනි චිත්‍රපටයකින් සිනමාවට පිවිසෙන්න ලැබීම භාග්‍යයක්. ගොඩක් දෙනෙක් කියනව මට සිනමාවට ගැළපෙන රූපයක් තියෙනව කියල. ඉතින් ඉදිරියේදී හොඳ චිත්‍රපටවලට දායක වෙන්න කැමැතියි.

ඔබ දිගටම රඟපාන විට දෙමවුපියන් කැමැති ද?

මගේ රංගන කටයුතුවලට දෙමවුපියන්ගෙන් ලැබෙන්නේ විශාල උදව්වක්; මඟපෙන්වීමක්. මම රූපගත කිරීම්වලට සහභාගි වන විට අම්මත් බොහෝ විට මා සමඟ එනවා.

ප්‍රේක්ෂකයින් දක්වන ආදරය ගැන ඔබට මොනව ද හිතෙන්නෙ?

මගේ ටෙලි නාට්‍ය නරඹන, මගේ රංගනයට ආදරය කරන ප්‍රේක්ෂකයින් රැසක්ම රට පුරා ඉන්නවා. මගතොටේ හමුවූ විට ඔවුන් ඉතාම ආදරයෙන් කතා කරනවා. ඒ වෙලාවට මට විශාල සතුටක් දැනෙනවා. මම කතා නොකරයි ද කියල හිතලා මාත් එක්ක කතා නොකරන අයත් ඉන්නවා. මාත් එක්ක හිනාවෙන මාත් එක්ක කතා කරන හැම කෙනෙක් එක්කම මම හිනාවෙලා කතා කරනවා. ඔවුන්ගෙන් ලැබෙන ඒ හිතවත්කමට මම හරිම ආදරෙයි.

කලා ක්ෂේත්‍රයේ වැඩියෙන් ඉන්නේ ඔබට හිතවත් අය ද? අහිතවත් අය ද?

මම කලා ක්ෂේත්‍රයට ඇවිත් තවම ටික කාලයයි. මේ ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් මාව ඇසුරු කරල නෑ. මම කා එක්කත් හිතවත්ව වැඩ කරනවා. මම දන්නා තරමින් මට තරහ අය කවුරුවත් නෑ.

ඔබ කලාවේ දිගටම රැ‍ඳෙනව ද?

ඔව් දිගටම රැඳී ඉන්න මම කැමැතියි. හැබැයි විවාහයෙන් පසුව කලාවේ රැ‍ඳෙයි ද කියලා හරියටම කියන්න බැහැ.

ඒ කියන්නෙ ඔබ ළඟදීම විවාහ වෙනව ද?

මේ වන විට මට විවාහ යෝජනා කීපයක්ම ඇවිත් තියෙනවා. ඒ අතරින් එක් යෝජනාවක් ගැන මගේ දෙමවුපියන් සැලකිලිමත් වෙලා තියෙනව. මගේ දෙමවුපියන් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගනීවි.

ගාමිණී සුසන්ත

ඡායාරූප - ශාන් රූපස්සර

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment


Top